බොල්ගොඩ ගංතෙර රමණීය බිමක අභිනවයෙන් ඉදිවී ඇති අප මහා තථාගත ගෞතම බුදුන් වහන්සේ ගේ ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේලා සහ අස්ථි ධාතූන් වහන්සේලා වැඩ වාසය කරන බුබ්බුලාකාර රණවිරු උපහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ ද, දොළොස් රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුර බෝධීන් වහන්සේද වැඩ වසන වෑවල උද්යෝගීපුර සිරි විජයාරාමය දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම් හා ගෞරවාදරයට පාත්‍ර වන පින් බිමකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය, වෑවල සිරි විජයාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර හේමාලෝක ස්වාමීන්වහන්සේ ගේ මූලිකත්වයෙන් හා මග පෙන්වීමෙන්, කුඩා පොල් අතු නිවසක පවතී ඉපැරණි විහාරගෙය, වත්මන් පවතින රමණීය පින්බිමක් බවට පත් කිරීමට විවිධාකාර දායක භවතුන්ගේ උපකාර ලැබිණි.